Tuesday, June 19, 2012

සසර ඉම අසබඩ






නිලඳුන් නොගැලී නෙතු නිලුපුල කැලුම්  දිදී
බිඟුසන් දුනු දියෙහි සැඩ හී සරින්  මිදී
පෙර මෙන් සසල නොව නෙතඟෙහි බැලුම් නොදී
අඩවන් වී නිමල ලොව්තුරු සුවය විඳී…..
පැහැදුල මුව කමල හල වියොවිනි  දුකිනී
කොකුමගරා සඳුන් තැන තැන තැවෙන  මෙනී
බඳුවද පැහැ දිමුත රත ලවනත  නිතිනි
හැරගිය සොවිනි හැම රස මසවුළු තැවිනි…..
නිල් දිය රැලි සදිසි මුදු දිගු කෙහෙරැල්ලේ
වැදි වැදි නිති රැඟූ මදනල  සිහිලැල්ලේ
ලද මුදු පහස මතු නැත යන සිතිවිල්ලේ
දස දෙස සොවිනි මුමුණන වැනි මැසිවිල්ලේ…..
කසවත සුමුදු බඳ වට දැවටුනාවේ
සඳවත රැසින් දස දෙස  බැබලුනාවේ
නල යුත සිහිල සියොළඟ  තැවරුනාවේ
සිත මෙත සකල සත වෙත  පැතිරුනාවේ…..
මුදු පා කමල යුග ගැටෙනා සඳ  පොළොවේ
රළු බව අතැර බිම තව තව සියුමැලිවේ
මිහිකත සනහ සනහා පියවර එසවේ
ඉඳුරන් නිවුණු සුපහන් සිත  කැඩපත වේ…..
තිනෙතට සසර බියකරු බව හසුවීද?
සියුමැලි සිතට බව දුක රුදු වැඩි වීද?
රුව සුදිලුනද කය අනියත වැටහීද?
පියමැන සසර ඉම අසබඩ  නැවතීද?…..

No comments:

Post a Comment