Showing posts with label Tranquility. Show all posts
Showing posts with label Tranquility. Show all posts

Thursday, December 27, 2012

වලා පට මත හිඳ ලියන වග නම්,




(පතුළ නොපෙනෙන අඳුරු හෙල් මුවට)
යෙහෙන් ඉහලින් මැනවින් කරන ලද 
සුමුදු සුදු වන් ඝන 
සේද වලා පට මත හිඳ 
හමනා සිහිල් මඳ පවනින් මන්මත්ව 
තුටින් පා තබනෙම් 
වැයෙනා සිහින් ගීත රාවෙට......

වලා පට විහිද ඇත ක්ෂිතිජ ඉම තෙක් දුරට 
ඉතින් මින් පිටවෙන්න තටු සොයන්නෙම් කුමට? 

.............................කාලය ගතවෙයි..............................................

අහා!
ඇයි මට මෙතෙක් නොදැනුනේ 
හමනා සිහිල් මඳ පවනට මුසුව 
දිනෙන් දින,
පැයෙන් පැය,
කෙමෙන් තුනී වී යන වග 
මා ඇලුම් කළ "මගේ"
සොඳුරු "ඝන" වලා පට? 

Thursday, October 4, 2012

............මල්..................



හවස බුදුන් වඳින්න හෙන්දිරික්කා මල් ටිකක් කඩාගෙන ආවා අද. මල් පහන් පූජා කරලා ඉවර වෙලා, පැත්තකින් ඉඳගෙන පැය කාලක් විතර ගාථා කිව්වා. ගාථා කියල ඉවර වෙලා ආයේ මලසුන දිහා බැලුවම අර ටිකකට කලින් පූජා කරපු මල් ටික මැලවිලා තියෙනවා දැක්කා. තාම සම්පුර්ණයෙන් පරවෙලා නෑ. ඒත් තිබ්බට වඩා මැලවිලා. මට අර කලින් මල් පූජා කරද්දී කිවුව ගාථාව මතක්වුනා පොඩි කාලෙ කියන තේරුම් කවියත් එක්ක. 

පැහැයත් සුවඳ ඇති - මේ මල් සොඳුරු පියකරු 
පුදමි බුදු සමිඳුට - සිරිපා පියුම් අබියස
මල් පිදූ කුසලෙන් - සැනහෙමි නිවන් සුවයෙන් 
පරව යන මල සේ - මාගේ කයත් වැනසේ..... 

ඒ කියන්නේ මේ මලට වෙන දේම මටත් වෙනවා කියන එක. ඒ පැය කාල ඇතුළත මාත් පැය කාලකින් මරණෙට ලං වුනානේ කියන එක මෙහෙම හිතුනෙ අද තමයි. ඕක අපට නිකන්ම නොහිතෙන බව දන්න නිසා තමයි මලසුනේ තිබ්බ මල දිහා බලලවත් ඒක තේරුම් ගන්න කියලා අපේ බුදුහාමුදුරුවෝ අපට කියන්න ඇත්තෙ.

බලාගෙන යනකොට ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ scope එකේ, අපේ පෘතග්ජන ඇහෙන් බලලා පෘතග්ජන මනසින් තනිවම තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයේ. නාම රූප දෙක ඇසට නොපෙනෙන තරම් වේගයකින් උපදිමින් බිඳෙමින් පවතින ප්‍රවාහයක් කියලා අභිධර්මයේ කියවෙනවනෙ. ඒත් උන්වහන්සේ බුදු ඇසින් දකින්නට ඇති විදිහෙ වාගේ : අපේ ශරීරයෙ අවයව වල මස් ලේ ඇතුලේ , පටක කොටස් ඇතුලෙ, ඒ කොටස් වල සෛල ඇතුලෙ, ඒ සෛල වල පරමාණු අතිශය වේගයෙන් කම්පනය වෙමින් මොහොතක් වත් එක විදියට නොපවතින හැටි අපට තනිවම හිතාගන්න බැරි නිසා තමයි, අපිව දිරාගෙන යන විදිය මල දිහා බලාගෙන කල්පනා කරන්න කියලා දෙන්න ඇත්තෙ. හරියට මතුපිටින් වෙන දේ කවුරුත් දන්න සරල විදියකට fast forward කරලා පෙන්නුවා වගේ. 

සංසාරෙට සාපේක්ෂව ජිවිත කාලේ සැලකුවත් ආයේ අර scope එකේ ප්‍රශ්නෙම තමයි එතනත් තියෙන්නෙ මට හිතෙන විදියට. පහුගිය භවවල වෙච්ච දේවල් මතක නෑ. ලබන භව වල වෙන්න යන දේවල් දන්නේ නෑ. බුදු ඇසින් දැකල කියපු දේවල් විශ්වාස නොකරන්න කරන කිසිම දේක ප්‍රතිඵලය  මොන වගේද කියල හරි හැගීමක් නෑ. කොටින්ම අපි කොහේ යනවද කියල අපිවත් දන්නෙ නෑ.

ලෝක විෂය සැලකුවත් ඉතින් එහෙමම තමයි. අපේ පරාසයට සාපේක්ෂව හිතල ඉවරකරන්න බැරි තරම් ඒ විෂයන් විශාලයි. සමහර කරුණු අපේ ඇසට අසු නොවෙන තරම් සියුම්, සමහර කරුණුගැන හොයාගෙන හොයාගෙන යනකොට, ලෝකේ ගැන හොයල ඉවර කරන්න හදන පුංචි කුඹියෙකුටත් වඩා අපි අසරණ වෙනවා. 

මේක ලියන එකේ අරමුණ වුනේ ඉගෙන ගන්න අධෛර්යමත් කිරීම නම් නෙවෙයි. විද්‍යාව ඉගෙන ගන්න අපිටත්, කොච්චර අකමැති වුනත්, සමහර දේවල් 'ඒක එහෙමයි' කියල දන්නා කෙනෙක් කිව්වම පිළිගන්න වෙනවා කියල මතක් කරන්නයි, අචින්ත්‍ය ලෝක විෂය 100%ක් පසිඳලීමට වඩා (යම් දුරකට දැනගන්න ඕනේ) තම විමුක්තිය සෙවීම වැදගත් බව අපිට බුදුහාමුදුරුවො කියල දුන්න බව මතක් කරගන්නයි, මතක් කරන්නයි තමයි ලිව්වෙ. තවම හරියට හය හතර නොතේරෙන මේ සංසාරේ පෘතග්ජන අපට 'අවබෝධ වුනා කියල හිතෙන' යම් දෙයක් ඇත්ද, මතක තියෙයි කියල හිතෙන යම් දෙයක් ඇත්ද, ඒ මතකයයි  අවබෝධයයි දෙකත් අනිත්‍යයි කියල මතක් වෙලා බය හිතුනු එකත් මේ ටික ලියල තියන්න තව හේතුවක් වුණා.


Tuesday, June 19, 2012

සසර ඉම අසබඩ






නිලඳුන් නොගැලී නෙතු නිලුපුල කැලුම්  දිදී
බිඟුසන් දුනු දියෙහි සැඩ හී සරින්  මිදී
පෙර මෙන් සසල නොව නෙතඟෙහි බැලුම් නොදී
අඩවන් වී නිමල ලොව්තුරු සුවය විඳී…..
පැහැදුල මුව කමල හල වියොවිනි  දුකිනී
කොකුමගරා සඳුන් තැන තැන තැවෙන  මෙනී
බඳුවද පැහැ දිමුත රත ලවනත  නිතිනි
හැරගිය සොවිනි හැම රස මසවුළු තැවිනි…..
නිල් දිය රැලි සදිසි මුදු දිගු කෙහෙරැල්ලේ
වැදි වැදි නිති රැඟූ මදනල  සිහිලැල්ලේ
ලද මුදු පහස මතු නැත යන සිතිවිල්ලේ
දස දෙස සොවිනි මුමුණන වැනි මැසිවිල්ලේ…..
කසවත සුමුදු බඳ වට දැවටුනාවේ
සඳවත රැසින් දස දෙස  බැබලුනාවේ
නල යුත සිහිල සියොළඟ  තැවරුනාවේ
සිත මෙත සකල සත වෙත  පැතිරුනාවේ…..
මුදු පා කමල යුග ගැටෙනා සඳ  පොළොවේ
රළු බව අතැර බිම තව තව සියුමැලිවේ
මිහිකත සනහ සනහා පියවර එසවේ
ඉඳුරන් නිවුණු සුපහන් සිත  කැඩපත වේ…..
තිනෙතට සසර බියකරු බව හසුවීද?
සියුමැලි සිතට බව දුක රුදු වැඩි වීද?
රුව සුදිලුනද කය අනියත වැටහීද?
පියමැන සසර ඉම අසබඩ  නැවතීද?…..

විස්මිත ගල් වඩුවාණෙනි




නිසසල හරිත වන පියසෙහි අරම                        මැද
මහ කළු ගලක පාමුල හිඳ ඇඳිලි                        බැඳ 
බැතිබර නෙතින දැහැනට සම වැදුන                   ලෙද
ඔබ ළෙහි වෙසෙන බුදු හිමි රුව                 නෙලනවද?

මෙත් දහරා ගලා යන අඩවන්                         නුවන 
කරුණාබර උවන ලොව සිහිලස                     දෙවන 
මහ කළු ගලක රළු බව අතරින්                       මවන 
විස්කම් දෙඅත සිප සනහයි මද                        පවන
  
සුරලොව වෙසෙන විස්කම් දිව පුතු              මෙන්නේ 
සිත දිරි බලය කැටි කොට ගත්             දෙඅතින්නේ 
දන මන සනසවන සුදසුන්                     මවමින්නේ 
කෙලෙසද නිසල කළු ගලකට පණ               දුන්නේ?

බුදු නුවනින් ගලන කරුණා                        දහරාවේ 
බැතිබර වූ ඔබේ සිත කමලම                        නෑවේ
එසිතෙහි රැව් දෙනා සම්බුදු ගුණ                      රාවේ 
අනුහස් මහිමයෙනි ඔබ විස්කම්                      පෑවේ

කළු ගල් කුළක දැඩි බව රළු පරළු                     බව 
ඔබ'තින් මැඩිනි ලැබදී මටසිලිටි                         රුව 
බැතිබර ඔබ දෙඅත අබියස මෙලක                  නොව 
කළු ගලකට පවා හිඳිනට නොහැක                    තව……………….