හවස බුදුන් වඳින්න හෙන්දිරික්කා මල් ටිකක් කඩාගෙන ආවා අද. මල් පහන් පූජා කරලා ඉවර වෙලා, පැත්තකින් ඉඳගෙන පැය කාලක් විතර ගාථා කිව්වා. ගාථා කියල ඉවර වෙලා ආයේ මලසුන දිහා බැලුවම අර ටිකකට කලින් පූජා කරපු මල් ටික මැලවිලා තියෙනවා දැක්කා. තාම සම්පුර්ණයෙන් පරවෙලා නෑ. ඒත් තිබ්බට වඩා මැලවිලා. මට අර කලින් මල් පූජා කරද්දී කිවුව ගාථාව මතක්වුනා පොඩි කාලෙ කියන තේරුම් කවියත් එක්ක.
පැහැයත් සුවඳ ඇති - මේ මල් සොඳුරු පියකරු
පුදමි බුදු සමිඳුට - සිරිපා පියුම් අබියස
මල් පිදූ කුසලෙන් - සැනහෙමි නිවන් සුවයෙන්
පරව යන මල සේ - මාගේ කයත් වැනසේ.....
ඒ කියන්නේ මේ මලට වෙන දේම මටත් වෙනවා කියන එක. ඒ පැය කාල ඇතුළත මාත් පැය කාලකින් මරණෙට ලං වුනානේ කියන එක මෙහෙම හිතුනෙ අද තමයි. ඕක අපට නිකන්ම නොහිතෙන බව දන්න නිසා තමයි මලසුනේ තිබ්බ මල දිහා බලලවත් ඒක තේරුම් ගන්න කියලා අපේ බුදුහාමුදුරුවෝ අපට කියන්න ඇත්තෙ.
බලාගෙන යනකොට ප්‍රශ්නෙ තියෙන්නෙ අපේම scope එකේ, අපේ පෘතග්ජන ඇහෙන් බලලා පෘතග්ජන මනසින් තනිවම තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයේ. නාම රූප දෙක ඇසට නොපෙනෙන තරම් වේගයකින් උපදිමින් බිඳෙමින් පවතින ප්‍රවාහයක් කියලා අභිධර්මයේ කියවෙනවනෙ. ඒත් උන්වහන්සේ බුදු ඇසින් දකින්නට ඇති විදිහෙ වාගේ : අපේ ශරීරයෙ අවයව වල මස් ලේ ඇතුලේ , පටක කොටස් ඇතුලෙ, ඒ කොටස් වල සෛල ඇතුලෙ, ඒ සෛල වල පරමාණු අතිශය වේගයෙන් කම්පනය වෙමින් මොහොතක් වත් එක විදියට නොපවතින හැටි අපට තනිවම හිතාගන්න බැරි නිසා තමයි, අපිව දිරාගෙන යන විදිය මල දිහා බලාගෙන කල්පනා කරන්න කියලා දෙන්න ඇත්තෙ. හරියට මතුපිටින් වෙන දේ කවුරුත් දන්න සරල විදියකට fast forward කරලා පෙන්නුවා වගේ.
සංසාරෙට සාපේක්ෂව ජිවිත කාලේ සැලකුවත් ආයේ අර scope එකේ ප්‍රශ්නෙම තමයි එතනත් තියෙන්නෙ මට හිතෙන විදියට. පහුගිය භවවල වෙච්ච දේවල් මතක නෑ. ලබන භව වල වෙන්න යන දේවල් දන්නේ නෑ. බුදු ඇසින් දැකල කියපු දේවල් විශ්වාස නොකරන්න කරන කිසිම දේක ප්‍රතිඵලය මොන වගේද කියල හරි හැගීමක් නෑ. කොටින්ම අපි කොහේ යනවද කියල අපිවත් දන්නෙ නෑ.
ලෝක විෂය සැලකුවත් ඉතින් එහෙමම තමයි. අපේ පරාසයට සාපේක්ෂව හිතල ඉවරකරන්න බැරි තරම් ඒ විෂයන් විශාලයි. සමහර කරුණු අපේ ඇසට අසු නොවෙන තරම් සියුම්, සමහර කරුණුගැන හොයාගෙන හොයාගෙන යනකොට, ලෝකේ ගැන හොයල ඉවර කරන්න හදන පුංචි කුඹියෙකුටත් වඩා අපි අසරණ වෙනවා.
මේක ලියන එකේ අරමුණ වුනේ ඉගෙන ගන්න අධෛර්යමත් කිරීම නම් නෙවෙයි. විද්‍යාව ඉගෙන ගන්න අපිටත්, කොච්චර අකමැති වුනත්, සමහර දේවල් 'ඒක එහෙමයි' කියල දන්නා කෙනෙක් කිව්වම පිළිගන්න වෙනවා කියල මතක් කරන්නයි, අචින්ත්‍ය ලෝක විෂය 100%ක් පසිඳලීමට වඩා (යම් දුරකට දැනගන්න ඕනේ) තම විමුක්තිය සෙවීම වැදගත් බව අපිට බුදුහාමුදුරුවො කියල දුන්න බව මතක් කරගන්නයි, මතක් කරන්නයි තමයි ලිව්වෙ. තවම හරියට හය හතර නොතේරෙන මේ සංසාරේ පෘතග්ජන අපට 'අවබෝධ වුනා කියල හිතෙන' යම් දෙයක් ඇත්ද, මතක තියෙයි කියල හිතෙන යම් දෙයක් ඇත්ද, ඒ මතකයයි අවබෝධයයි දෙකත් අනිත්‍යයි කියල මතක් වෙලා බය හිතුනු එකත් මේ ටික ලියල තියන්න තව හේතුවක් වුණා.
අපේ මේ ශරීරය මැටි භාජනයක් මෙන් අස්ථීරයයි දන ,අපේ මේ සිත ආරක්‍ෂිත නගරයක් මෙන් සාදාගෙන විදර්ශනා නුවණ නමැති ආයුධයෙන් කෙළෙස් නැමති මාරයාට පහර දිය යුතුය.උපදවා ගත් තරුණ විදසුන් නුවණ රැක ගත යුතුය.ලෞකික සමාප්තියෙහිම නොරැඳි විදර්ෂනාව වැඩිය යුතුය.
ReplyDeleteDhammapadaya-chiththa vagga