Tuesday, July 17, 2012

රන් ගොයමේ රන් එතනා

නිලඹර දිලෙන රන් රිවි රැස් දහර                                   වැද
රන් වන් කරල් සිප මදනල හමන                                   සඳ 
පීදෙන රන් ගොයම තාලෙට ලෙළෙන                          ලෙද
වැජඹෙන්නීය එතනා රන් ගොයම                                 මැද

නිසි පුළුලුකුල, සිහිනිඟ; ලෙළ පහන්                             සිල
සිසි වන උවන, රතදර මුතු දසන්                                 පෙළ 
දැක පිනිබර යමේ පිබිදුණු නෙළුම්                                 මල 
මැලවුණු බව ඇයට පැවසීය                                     මදනල 

සුසිනිඳු කොමල'තෙහි රතැඟිලි පහස                            දැනී
ලෙළදෙන රන් ගොයම මදහස සලන                         මෙනී
කැකුළක දිලෙන රිවි දුටු පිනි බිඳුව                              වැනී
ඇගෙ රන් ඩා බිඳක අගයද සුළඟ                                  දනී

නිලඳුන් ගෑ දිගු දිදුලන නෙත'ගින් රිවි රැස පරදන කැලුම්                              දෙවන්නී 
නීල වරල පිට මැදෙහි රුවාලා පීදෙන ගොයමට පවන්                                   සලන්නී 
ලෙළදෙන සිහිනිඟ සැලෙනා තාලෙට නියර මතින් ඇගෙ පාද                        තබන්නී 
මිහිබට සුර අඟනගෙ  විලාසෙන් රන් එතනා රන් කෙත                           සරසන්නී 

Tuesday, July 10, 2012

……………අමුතු පදනම්……………..




පැන නැගෙත                             සැණෙකින්
එක් මුදු මොලොක්                           වදනින් 
බිතු නැගෙත                                    එමතින් 
'කපක' සිහිනෙන් නැණැස                වසමින්  


පිටු නො පවිතැ'යි                          පැතුවෙම් 
බිතු මත ඇඳුනු                                  සිතුවම් 
එද ලොව කෙලෙස                            අදහම් 
නැගෙන, නැතිවෙන සසල                 පදනම්?...

Saturday, June 30, 2012

අයියෝ සල්ලි!


පැය, දින, සති, මාස                             ගණන් 

වතුර ඇදි මු  හති                                 දමමින් 
නෙතු බොඳ කර එක                   මොහොතින් 
කළය බිඳෙත පොලු                            පහරින් 

Monday, June 25, 2012

ඇගෙ ආලෝකය





ඔබෙ ඇකයට හඬමින් පිය නැගුවෙමි යන්තම් පය එසැවුණු      කාලේ  
මතකයි මා හිස අතගා සනහා දෙපයින් මා සිටැවූ                     තාලේ 
හෙමි හෙමිහිට ලොව එළිය දිටිමි මම පියමනිමින පසුකර         බාලේ 
ගුණ සිහිකර ඔබෙ නමට වඳිමි මම ඔබෙ උණුහුම මට නැති      වේලේ  

ඇය පෑ ආලෝකය ගෙන                         සුරතට 
මුත් කී ලෙස ලොව                        දිනුමට 
දහක් දනන් නෙතු මැද තනි වූ                       විට 
විදු මවු මුදු සෙනෙහස සිහි වේ                      මට

Tuesday, June 19, 2012

සසර ඉම අසබඩ






නිලඳුන් නොගැලී නෙතු නිලුපුල කැලුම්  දිදී
බිඟුසන් දුනු දියෙහි සැඩ හී සරින්  මිදී
පෙර මෙන් සසල නොව නෙතඟෙහි බැලුම් නොදී
අඩවන් වී නිමල ලොව්තුරු සුවය විඳී…..
පැහැදුල මුව කමල හල වියොවිනි  දුකිනී
කොකුමගරා සඳුන් තැන තැන තැවෙන  මෙනී
බඳුවද පැහැ දිමුත රත ලවනත  නිතිනි
හැරගිය සොවිනි හැම රස මසවුළු තැවිනි…..
නිල් දිය රැලි සදිසි මුදු දිගු කෙහෙරැල්ලේ
වැදි වැදි නිති රැඟූ මදනල  සිහිලැල්ලේ
ලද මුදු පහස මතු නැත යන සිතිවිල්ලේ
දස දෙස සොවිනි මුමුණන වැනි මැසිවිල්ලේ…..
කසවත සුමුදු බඳ වට දැවටුනාවේ
සඳවත රැසින් දස දෙස  බැබලුනාවේ
නල යුත සිහිල සියොළඟ  තැවරුනාවේ
සිත මෙත සකල සත වෙත  පැතිරුනාවේ…..
මුදු පා කමල යුග ගැටෙනා සඳ  පොළොවේ
රළු බව අතැර බිම තව තව සියුමැලිවේ
මිහිකත සනහ සනහා පියවර එසවේ
ඉඳුරන් නිවුණු සුපහන් සිත  කැඩපත වේ…..
තිනෙතට සසර බියකරු බව හසුවීද?
සියුමැලි සිතට බව දුක රුදු වැඩි වීද?
රුව සුදිලුනද කය අනියත වැටහීද?
පියමැන සසර ඉම අසබඩ  නැවතීද?…..

The smooth criminal




Feeling o feeling..
Wherefore art thou so smooth?
Smooth…
So smooth….
But wherefore art thou so fierce when disturbed??
Alas, thou engulf faint souls!
Eat them up,
Get them into pieces….
So I’m trying hard…
To escape from thy grip, smooth criminal….
For thou might seem innocent…..
But thou might make me sigh,
Make me cry,
Might embrace me tight,
And burn me till  I die……..

අකුරු තුනක්වත් ලියලා හැකිනම් එක කරදහියක් එවපන්නේ




නෙතග සැලෙන්නට නලියන කඳුලකි – කෙලෙස නුඹෙන් එය සඟවන්නේ?
නහර අරා නුඹේ දිවෙනා එඩියයි – සැලෙනු නොදී එය රඳවන්නේ
ම පෙව් රුහිරු කිරි සවිය ලබාමද – පුතුනි මෙසේ එඩිතර වන්නේ ?
ම පුතු ගියේ හෙළ දෙරණ රකින්නයි – කඳුල ඉතින් සැඟවී යන්නේ…….

මොළකැටි අත් පොඩි කුසුම් තබාලා – ළමැදේ උණුහුම සොයමින්නේ
නුඹ හිටි හැටි අද වාගේ මතකයි – කිරි සුවඳිනි මන නැහැවෙන්නේ
පෙර නුපුරුදු විලසින් සැරසීලා – ගිනි බටයක බර දරමින්නේ
සිටිනා කල නුඹේ අත නොරිදෙන්නෙද – මගෙ පොඩි පුතුනේ කියපන්නේ?

රුපුනොද සිඳ සිය රට දැය රැකුමට – පිය උතුමාණන් ගිය පාරේ
ගිලිහුණු අවියද ගෙන පිය නැගුමට – එළැඹුනු බව දැන තම වාරේ
පුත නුඹේ මුදු පය තැබුව දිනේ සිට – ගිනිගත් රළු රණ බිම් තීරේ
තබන තබන හැම පියවර ගානේ – හැම දෙවි රැකවරණය නෑරේ

උතුරු බිමේ යුද ගිනි නැගෙනා සඳ – ලිපගිනි ළමැදයි මෙලවෙන්නේ
අනේ මගේ පොඩි පුතුනේ කවදද – එගිනි නිවන්නට නුඹ එන්නේ?
පුතුනි නුඹේ සොඳ මුහුණ බලාලා – බත් දෙකටක් හෙම කවමින්නේ
නුඹේ මුවින් මා අමතනු ඇසුමට – සිත වෙහසෙයි මග බලමින්නේ…..

හිරු පායා විත් අරුණලු අරගෙන – කල්පයකට නැහැ බැස යන්නේ
රැයක් දවාලක් නොදැනෙයි පුතුනේ – නුඹේ රුවමයි මතකෙට එන්නේ
සවන පුරා නුඹේ හඬ රැව් දෙන සඳ – නැත මගෙ හදවත වාවන්නේ
අකුරු තුනක් වත් ලියලා හැකිනම් – එක කරදහීයක් එවපන්නේ……